රට පාලනය

දවස් දහයක් රට පුරා ඇවිදලා ආපහු ගෝනිපුරට ආවේ සිකුරාදවක දවල් වරුවෙයි. ඇඟට කොයි තරම් මහංසි ගතිය දැනුනත් ගමනේ අංතිම රෑ සටහන් කරගත්ත කෙටි සටහනුත් අරගෙන මම චක් හමුවෙන්න ගියා. නමුත් ඒ වෙනකොට චක් ඔහුගෙ කාමරේ හිටියෙ නෑ. මම කැන්ටිම පැත්තේ ගියා - දවල්ට නොකා හිටි නිසා අඩුම ගානේ තේ එකක්වත් බොන්න හිතාගෙන. බීර කැන්ටිම ඇරලා තිබුනොත් එතෙන්ට යන්නයි මගෙ අදහස තිබුනේ.

“කොහොමද රටතොට? එපාවුනාද?”

පොත් ගොන්නක් උස්සාගෙන ඇවිදින්නෙක් මගෙන් ඇහුවා. කෑම මේසෙදි දැක්කත් මිනිහගෙ නම මට මතක නෑ - ඒක එයාටත් තේරුනා.

“මම විකී - මට රාහිත් කිව්වා ඔයා රට වටේ ගියා කියලා, මිනිහගෙ ගමන් ක්රමයට!”

“ඔවු - මම උපාලී - රාහිත්ගෙ ප්ලෑන් එකට ගිය ගමන නියමයි. රටත් නියමයි, හමුවුන මිනිස්සුත් නියමයි…. දැන් ආපු නිසා මම බැළුවේ කැන්ටිමේ බීරත් නියමයිද කියලා බලන්න. විකීට වෙලා තියෙනවද බීර එකක් බොන්න, කඩේ ඇරලනම්?”

“බීර එකක් තිබුනොත් හොඳයි ආයෙ අද වැඩත් නැති එකේ. හැබැයි මා ලඟ වැඩිය සල්ලි නෑ; ටවුමෙන් බිව්වොත් මීට වැඩිය ලාබයි”

“මං හිතුවේ තව දෙන්නෙක් අල්ලගන්න පුළුවන් නම් මට ඒක සෙමිනා එකක් කියලා ප්රොජෙක්ට් එකට බිල දාන්න පුළුවන්. රාහිත් හිටියොත් හොඳයි - දේශපාලනේ හදාරන නිසා; කවුද සමාජ විද්යාව වගේ දෙයක් කරන කෙනෙක් ඉන්නේ?”

අපි හතරදෙනා ටවුමට එනකොට දෙක පහුවෙලා. හපන්න දේත් බීරත් ගෙන්නගෙන මම පොතක් එලියට ගත්තා, සටහන් ලියාගන්න.

“උපාලී ඇත්තටමද කිව්වේ මේක සෙමිනා එකක් කියලා?”

“ඔවු… මට අහන්න ප්රශ්න ගොඩක් තියෙනවා. ඒවට උත්තර ලැබුනොත් ඒක බීර විස්සකට වැඩිය වටිනවා!”

“මාර ප්රොජෙක්ට්!”

එක බීර උගුර බිව්වැන් පස්සෙයි මම පලවෙනි ප්රශ්නය ඇහුවේ.

“මගෙ පලවෙනි ප්රශ්නේ අහන්න හේතුව මම ඉස්සරවෙලා කියන්නම්. මගෙ රටේ, ලංකාවේ, ජනතාව දේශපාලනේ ගැන නිතරම කතා කරනවා. සාමාන්යෙන් ඒක හොඳ ගතියක් කියලා මම හිතන්නේ. රටේ අනාගත දියුනුවට අදාල දේ නිතර සාකච්චා කරන සමාජයක් ඒ තරම්ම නරක වෙන්න බෑ…. නමුත් එක වැරැද්දක් තියෙනවා …. විශාල වැරැද්දක්…. ලාංකිකයෝ බොහෝ දෙනෙක් සාකච්චා, විවාද කරන්නේ දේශපාලන පක්ෂ බදාගෙන පැති වලට බෙදිලයි. සමහරවිට උනුසුම වැඩිවෙනකොට විවාද ගුටිකෙලි වලටත් හැරෙනවා. මේ වගේ තදින්ම එක පැත්තකට බැඳුනාම ඒ අය දේශපාලකයන්ගේ හොඳ නරක බලන්නේ පක්ෂය අනුව - අපෙ පක්ෂේ උන් හොඳයි, අනික් පක්ෂේ උන් නරකයි කියන සරල න්යාය අනුව”

මම මගේ සෙමිනා සමාජිකයෝ දිහා බැලුවා.

“තව උගුරු දෙකක්වත් බොන්න ඕන ප්රශ්නේ ඉවර කරන්න … මේ පක්ෂ වලට ඇලී ඉන්න අයගෙන ඇහුවොත් පක්ෂ වල ප්රතිපත්ති, ඒ ප්රතිපත්තිවල විපාක ගැන …. ඒ ගැන දැනුම බොහොම අඩුයි. දේශපාලකයන් ගේ පුද්ගලික තොරතුරු, නෑදෑයෝ, හඳුනන්නෝ එහෙම හොඳින් දැනගත්තත් ඔවුන්ගේ ප්රතිපත්ති, හොඳ නරක, දක්ශ අදක්ශකම් රටට අදාල නෑ වගේ ඒ අය හිතන්නේ…. අඩු ගානේ මට පෙනෙන්නේ ඒ වගේ… අනික් අතට ගෝනියාවේ අය තමාගේ මැති ඇමතිලා ගැන දන්නේ බොහෝම ටිකයි වගේ මට දැනුනේ - මෙන්න පලවෙනි ප්රශ්නේ - ගෝනියාවේ මිනිස්සු ආංඩුව ගැන හිතන්නේ/කියන්නේ මොනවද?”

මගෙ සමුළුවේ අනික් සාමාජිකයෝ රාහිත් දිහා බැලුවා, දේශපාලන හදාරන්නෙක් හැටියට උත්තරය දෙන්න සුදුස්සා ලෙස රාහිත් තෝරාගෙන.

“…. ආංඩුවක් තියෙනවා කියලා මිනිස්සු දන්නවා…. ආයෙ …. රට පාලනය වෙනවා කියලා දන්නවා…. මං හිතන්නේ උපාලී ඊට වඩා ස්පෙසිෆික් ප්රශ්න අහන්න වෙයි ලියාගන්න වටිනා උත්තර ඕනනම්”

“සොරි…. ආංඩුව තෝරගන්න රාහිත් ඡන්දේ දුන්නද?”

“මට තවම තියෙන්නේ ගමේ ඡන්දයක් විතරයි”

“ගමේ ඡන්දයක් කිව්වේ?”

“ගම් සභාව තෝරගන්න ඡන්දේ”

“කුඩා පරිමාණයේ ගම් සභා ඡන්ද කොහොමද රටේ ආංඩුවට සම්බංද?”

සමුළු සාමාජිකයෝ මා දිහා බැළුවේ මගේ ප්රශ්නේ ඒ අයට නොතේරුනා වගේ. නොතේරුනාද, නැත්නම් ඒක මෝඩ ප්රශ්නයක්ද කියලා මට දැනගන්න ක්රමයක් නෑ.

“ගෝනියාවේ ආංඩුව තෝරාගන්න හැටි මට කෙටියෙන් කියලා දෙන්න පුළුවන්ද? මට පේන විදිහට මම හරි විදිහේ ප්රශ්න අහන්න දන්නෙ නෑ!”

රාහිත් කතාව පටන්ගත්තේ බීර වීදුරුව ඉවර කරලා වීදුරුව මේසේ උඩ තියලයි. මම වේටර්ට තව බීර වටයක් ගෙනෙන්න සංඥා කරලා සටහන් පොත ඇරියා.

“මම කිව්වා වගේ මට තියෙන්නේ ගමේ ඡන්දේ. ඒ කියන්නේ, ගම් සභාව තෝරාගැනීමේ තරඟෙට මට ඡන්දය පාවිච්චි කරනවා. අපි කට්ටියම ගමේ ඡන්ද කාරයෝ - වෙන වෙන ගම් සභා වලට අයිති වුනත්. ලංකාවේ මම දන්න විදිහට පලාත් නවයක් තියෙනවා, ඊට යටින් නගර, උපනගර, ප්රාදේශීය සභා තියෙනවා 350ක් විතර, එකතුකරපුවාම. හරිද? ගෝනියාවේ රට බෙදිලා තියෙනවා ගම් සභා විසි එකකට. ඊට උඩින් තියෙන්නේ ගෝනියාවේ ආංඩුව - ලංකාවේ වගේ ආංඩු මට්ටම් ගොඩක් නැ….”

රාහිත් සාක්කුවෙන් හැඳුනුම් පතක් එලියට ගත්තා.

“මගෙ හැඳුනුම් පතේ තියෙනවා මගෙ නම, උපන් දිනේ එහෙම ඇරුනුකොට මම අයිති ගම් සභා කොට්ඨාසයත්. අපේ කොට්ඨාසයෙන් අපි තෝරනවා සභිකයෝ විස්සටත් තිහටත් අතර ගනනක් - හරි ගනන ජනගහනය අනුව වෙනස් වෙනවා. මුළු රටම ගත්තොත් ගම් සභිකයෝ 499ක් තෝරනවා. යම් හේතුවක් නිසා අපෙ පොරවල් කිව්වළු 500ට කිට්ටු ප්රථමක සංඛ්යාවක්, ප්රයිම් නම්බර් එකක්, වෙන්න ඕන කියලා - ඇයි මම දන්නෙ නෑ. රටේ ජනගහනය එහෙ මෙහෙ යෑම නිසා එක එක ගම් සභාවක සභිකයෝ ගනන වෙනස් වෙනවා. පැහැදිලිද?”

“ඔවු මට තේරෙනවා…. ගම් සභා වලට ලොකු බලයක් තියෙනවද? මම කියන්නේ පාරවල් හැදීමයි කුණු කසල එකතුවයි ඇරුනකොට?”

මම මෙහෙම ඇහුවේ ඒක විහිළුවක් හැටියට පිලිගනියි කියන බලාපොරොත්තුවෙන්. ඒක වැදගත් ප්රශ්නයක් හැටියටයි කට්ටිය සැලකුවේ.

“ඒ වැඩ දෙක ඇරුනුකොට තව හුඟක් දේ කරනවා - ගෝනියා මහ ආංඩුවේ නියෝජිතයෝ හැටියට…. වෙන එකක් තියා අධ්යාපනය, පොලීසිය, ඉස්පිරිතාල වැනි සියළු දෙයක්ම පරිපාලනය කරන්නේ ගම් සභාවෙන්, මහ ආංඩුව වෙනුවෙන් - මහ ආංඩු විධාන / මග පෙන්වීම් අනුව”

“එතකොට ඝට්ටන ඇතිවෙන්නේ නැද්ද ආංඩු දෙක අතරේ?”

මේක රාහිත්ට තේරුනේ නෑ.

“ඒ කොහොමද? සේරම එකයි නේ?”

“නෑ නෑ…. මං හිතුවේ, ජන ඡන්දෙන් පත්වුන ගම් සභා කැමැතිද මහ ආංඩුවේ නියෝග පිලිපදින්න?”

“ඇයි නැත්තේ? ඒ අයම තෝරා ගත්ත මහ ආංඩුව නේ?”

මෙතෙන්දී විකී පලවෙනි සැරේට කතා කළා.

“ඔහොම නෙවෙයි! ඇයි උපාලිට කියන්නෙ නැත්තේ මහ ආංඩුව තෝරා පත්වෙන හැටි?”

“උපාලී මට සමාවෙන්න - මට අමතක වෙනවා ලංකාවේ ක්රමයට වඩා මෙහෙ ක්රමය වෙනස් කියලා…. මම ලංකාව ගැන කියවලා තිබිලත් මට මේක අමතකවුනා…. අපි මහ ආංඩුව තෝරන්නේ මහ ඡන්දයක් තියලා නෙවෙයි. ගමේ ඡන්ද වලින් තේරුන ගම් සභිකයෝ එකතුවෙලා තමා මහ ආංඩු මැති ඇමති තෝරන්නේ”

“මොනවා! රටේ ආංඩුව හදන්නේ ගම් සභිකයෝ එකතුවෙලා? එතකොට සාමාන්ය මිනිස්සුන්ට කිසිම අවස්තාවක් නෑ රටේ ආංඩුව තෝරන්න!”

මට පුදුමයි මගෙ සගයන්ට මේකේ බරපතළ කම නොතේරීම ගැන.

“ඔවු - අපි තෝරපු ගම් සභිකයෝ තමා ඊලඟ මට්ටමට යන්නෙත්, යන අය තෝරන්නෙත්…. මගෙ ගමේ සභිකයෝ විසි හතරෙන් පස් දෙනෙක් මහ ආංඩුවේ මන්ත්රීලා - එකෙක් ඇමතියෙක්! නරක නෑ මගෙ ඡන්දේ!”

රාහිත් වගේ නෙවෙයි අනික් අය ලංකාවේ ක්රම දන්නෙ නෑ.

“ලංකාවේ කොහොමද මහ ආංඩුව තෝරන්නෙ?”

මට ටිකක් ආඩම්බර හිතුනා ලංකාවේ ප්රජාතන්ත්රය වැඩ කරන හැටියට.

“හැම වැඩිහිටි පුරවැසිටම ඡන්දයක් තියෙනවා ලංකාවේ මන්ත්රී කෙනෙක් තෝරගන්න! ඒ වගේම අපි දන්නවා ඡන්දේ දෙන පක්ෂය අනුව අගමැති වෙන්නේ කවුද කියලා - ඡන්දේ ඉවරවෙන්නත් ඉස්සර!”

රහිත් ඇර අනික් දෙන්නට පුදුමයි.

“පුදුම දියුනු රටක් - මම දැනගෙන හිටියෙ නෑ. මට සමාවෙන්න…. අපේ රටේ එහෙම කරන්න බෑ කවදාවත්! මොකද මිනිස්සුන්ගෙ ඉගෙනීම මදි!”

“ඒ කිව්වේ?”

“මහ ආංඩු මංත්රී කෙනෙක් තෝරගන්න දැනුම මදි!”

“ලංකාවේ දැනුමක් ගැන කතාවක් නෑ. ඕන කෙනෙකුට ඡන්දේ දෙන්න පුළුවන් - ඡන්දේ ඉල්ලලා මංත්රී කෙනෙක් වෙන්නත් පුළුවන්!”

“ඉගෙනීමක් නැතුවත්?”

“ඔවු! ඇයි මෙහෙ විභාග පාස් වෙන්න ඕනද ඡන්දේ දෙන්නයි ඉල්ලන්නයි? ඒක ප්රජාතන්ත්රයට විරුද්ද නැද්ද?”

ආයෙත් විහිළුවට ගනියි කියලා බලාපොරොත්තුවෙන් කියපු දේ හිතපු හැටියට වැඩ කරේ නෑ. රාහිත් මා දිහා ටිකක් කනගාටුවෙන් වගේ බැළුවා. කතා කරන්න ඉස්සර බීර වීදුරුව තනි හුස්මට ඉවර කරා. මම තව බීර ගෙනෙන්න වේටර්ට කිව්වේ අතෙන් සංඥා කරලා.

“මෙහෙ ලංකාව වගේ නෙවෙයි උපාලී…. ඡන්දේ දෙන්න ඕන නම් ඉස්කෝලේ අටේ පංති මට්ටමට වත් ප්රජාචාරේ ඉගෙනගන්න ඕන…. මේක හුඟක් අයට අමාරු නෑ…. ගම් සභා අපේක්ෂකයෙක් වෙන්න වසර දොලහට විද්යාව, කළමනාව, තාක්ශනය ඉගෙනගෙන හොඳට සමර්ථ වෙන්න ඕන. එතනින් ඉහලට යන්න පුළුවන් මහ ආංඩු මංත්රී කෙනෙක් හැටියට - ඒකට සමාජයට අදාල උපාදියක් තියෙන්න ඕන. තවත් උඩට යන්න පුළුවන් ඇමතිකමක්, අගමැතිකමක් උනත් - නමුත් උචිත පළපුරුද්ද, වචනෙන් වගේම ක්රියාවෙනුත් පිරිසිදු චරිතයක් …. අන්න ඒ වගේ බාධක…. අපිට යන්න පුළුවන් තැන් නෙවෙයි! …. නමුත් අඩුම ගානේ අපි මුල ඉඳන්ම දන්නවා මොනවද කියන්න කරන්න ඕන කියලා අපෙ ප්රජාතන්ත්ර ආංඩු ක්රමෙන් ප්රතිලාභ ලබන්න”

ලංකාවේ මැතිවරන ක්රමයට වඩා පහසුවෙන් තේරුම්ගතහැකි මැතිවරන ක්රමයක් ගෝනියාවේ පාවිච්චි වෙනබව ඉතා පැහැදිළියි. පෙනේරයකින් පිටි හලන්නාසේ මහජනතාවෙන් ගම් සභිකයොත්, ගම් සභිකයන්ගෙන් මහ ආන්ඩු මන්ත්රී වරුත්, මන්ත්රී වරුන්ගෙන් ඇමති වරුත්, ඇමති වරුන්ගෙන් අගමැතිත් තෝරා ගැනීම තර්කානුකූලයි. එමෙන්ම ඉගෙනීමේ සහ වෙනත් සුදුසුකම් මේ හැම මට්ටමටම අවශ්ය නිසා රට කරන්නේ රට කිරීමටම කැපවූ, එයට අදාල සුදුසුකම් ඇත්තෝ පමනකි. ලංකාවේ මෙවැනි ක්රමයක් පිහිටුවිය හැකිද කියා ප්රශ්නයක් මගේ හිතට නැගුනා.

අද ඉගෙනගත් දේ ලංකාවේ පත්තරේකට ලියන්න සිතුනත් එසේ නොකිරීමට මම තීරණයකළේ එය පළ නොවන බව මට හොඳටම විශ්වාස නිසයි.